728x90 AdSpace

  • Latest News

    Wednesday, August 2, 2017

    අද ඇරැඹෙන තරගයේදී දඟ පන්දුවට වැඩි ඉඩක්

    ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී දිනේෂ් චන්දිමාල් අසනීපවීමෙන් සහභාගී නොවූ අතර අද තරගයේදී ඔහු ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදීමේ හොඳ සූදානමකින් පසුවේ. නියුමෝනියා රෝගී තත්ත්වයෙන් සිටි චන්දිමාල්ට ඉක්මණින් යථා තත්ත්වයට පත්වීම උදෙසා ‘ඉන්හේලයක්’ භාවිතා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවසරදීමෙන් ශරීර සෞඛ්‍ය දැන් යහපත් අතට හැරී තිබේ. චන්දිමාල් ටෙස්ට් පිලට නායකත්වය ලබාදෙන දෙවැනි තරගය මෙයවන අතර ඔහුගේ නායකත්වයෙන් පසුගිය මාසයේ සිම්බාබ්වේ සමග කොළඹදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමි විය.

    ශ්‍රී ලංකා පිලට දඟ පන්දු යවන්නන් සිවුදෙනකු ක්‍රීඩා කිරීමේ අවස්ථා අද තරගයේදී නිර්මාණයවී තිබීම විශේෂත්වයකි. හේරත්ට හා දිල්රුවන්ට අමතරව දකුණත් පිට දඟ පන්දු යවන ධනංජය ද සිල්වා අද තරගයට ක්‍රීඩා කරන අතර වමත් දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාරට ද වැඩි අවස්ථා ඇතැයි ඊයේ එස්. එස්. සී පිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී නායක දිනේෂ් චන්දිමාල් පැවැසීය.

    තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති තිස් හැවිරිදි පුෂ්පකුමාර පළමු පෙළ තරගවලදී දක්ෂතා දැක්වීමට සමත්වූ පන්දු යවන්නෙකි. පළමු පෙළ තරග 99කදී කඩුලු 558ක් ලබා ගෙන සිටින ඔහු අන්තර් ක්‍රීඩා සමාජ තරගවලදී ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නෙකි.

    පළමු තරගයේදී ආබාධයට පත්වූ රංගන හේරත්ගේ සහභාගිත්වය අද දිනයේ ස්ථීරවනු ඇතැයි චන්දිමාල් පැවැසීය. ඔහු සුවය ලබා සිටින අතර පසුගිය දින දෙකේදී පුහුණුවීම්වලට එකවූ බවද නායකයා පැවැසීය. ගාල්ලේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කුළ රංගන හේරත් පන්දුව රැක ගැනීමට උත්සාහ කිරිමේදී වම් අතේ මැද ගිල්ලේ ආබාධයක් ඇතිවිය. ඉන් අනතුරුව පන්දු යැවීමට හෝ පන්දුවට පහරදීමට ඔහු නොපැමිණියේය. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට මාස 13කට පසුව කැඳවූ ළහිරු තිරිමාන්න පිළිබඳ අවසන් තීරණය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    “අපට සිටින තරග දිනවන පන්දු යවන්නෙක් රංගන හේරත්. ඔහු එස්. එස්. සී. පිටියේ හොඳ දස්කම් දක්වා තිබෙනවා. අද තරගයට ඔහු ක්‍රීඩා කිරීමට ඉඩ කඩ වැඩියි. මිලින්දට හා ධනංජයටත් අවස්ථා තිබෙනවා. අපේ පිතිකරණ අංශයත් දැන් ශක්තිමත්. මේ තරගය ජයගෙන තරගාවලිය සම කිරීමට අපේ බලාපොරොත්තුවයි” චන්දිමාල් පැවැසීය.

    මේ අතර ඉන්දීය නායක විරාට් කෝලි ආරම්භක පිතිකරුවන් යුගලය තොරා ගැනීමේ ප්‍රබල ප්‍රශ්නයකට මුහුණදී සිටී. ඔහුගේ නිත්‍ය ආරම්භක පිතිකරු කේ. එල්. රාහුල් පළමු තරගයේ ක්‍රීඩා නොකළ හෙයින් ඒ වෙනුවට ආදේශවූ අභිනව් මුකුන්ඩ් දක්ෂතා අතරට පිවිසීමෙන් කේ. එල්. රාහුල්ගේ ස්ථානය නැවැත තහවුරු කිරීමේ ප්‍රශ්නය ඉතිරිව ඇත. පළමු තරගයේ දෙවැනි ඉනිමේදී අභිනව් මුකුන්ඩ් ලකුණු 81ක් ලබාගත් අතර ශිකර් ධවාන් පළමු ඉනිමේදී ලකුණු 190ක් වාර්තා කළේය.

    කෙසේ වුවද කොළ පැහැති තණනිල්ල අනුව අද උදෑසන කණ්ඩායමේ සංයුතිය තීරණය කරන බව විරාට් කෝලි පැවැසීය. ඉන්දීය පිල සතුවද ප්‍රබල දඟ පන්දු යවන්නන් සිටින අතර ඔවුන් වැඩි ප්‍රමාණයක් අද තරගයට යෙදවීමේ ඉඩ කඩ විවරව පවතී.

    ශ්‍රී ලංකා සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා‍, මලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්, ළහිරු තිරිමාන්න

    ඉන්දීය සංචිතය - විරාට් කෝලි (නායක), ශිකර් ධවාන්, අභිනව් මුකුන්ඩ්, කේ. එල්. රාහුල්, චෙටෙස්වර් පුජාරා, රෝහිත් ශර්මා, අජින්කයා රහානේ, රිද්දිමාන් ෂහා, රවින්ද්‍ර ජඩේජා, හර්දික් පාණ්ඩ්‍යා, ඉෂාන්ත් ෂර්මා, උමේෂ් යාදව්, මොහොමඩ් සාමි, බුවනේෂ්වර් කුමාර්, කුල්දීප් යාදව්, රවිචන්ද්‍රන් අශ්වින්
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අද ඇරැඹෙන තරගයේදී දඟ පන්දුවට වැඩි ඉඩක් Rating: 5 Reviewed By: editor
    Scroll to Top