728x90 AdSpace

  • Latest News

    Wednesday, September 6, 2017

    ඉන්දියාවට විස්සයි 20 තරගයෙන් කඩුලු 7ක ජයක්

    ටෙස්ට්, එක්දින තරග සියල්ල ජයගත් ඉන්දීය ක්‍රීඩකයෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති විස්සයි 20 තරගය පන්දු 4ක් ඉතිරිව තිබියදී කඩුලු 7කින් ජයගෙන සාර්ථක සංචාරයක් නිම කරති. එය ශ්‍රී ලංකාවේදී ඉන්දීය ක්‍රිකට් පිලක් සියලු තරග ජයගෙන වාර්තාගතව නිමාකළ විජයග්‍රහී තරග සංචාරයක් ලෙස ඉතිහාසයට එක් විය.

    හත්වැනි වරටත් කාසියේ වාසිය දිනාගත් විරාට් කෝලි ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවෝ 7ක් දැවී ලකුණු 170ක් රැස් කළහ. ජයග්‍රහණය උදෙසා ඕවරයකට ලකුණු 8.5ක් වූ දළ වේගය අනුව, ඉනිම සැලසුම් කළ ඉන්දීය පිල ඕවර් 19.2කදී කඩුලු 3කට ලකුණු 174ක් ලබා ජය ගහවුරු කර ගත්තේය.

    ආරම්භක පිතිකරු යුගලය වූ රෝහිත් ෂර්මා (ලකුණු 9) හා කේ. එල්. රාහුල් (ලකුණු 24) දැවීගොස් තිබියදී තෙවැනි කඩුල්ලට අගනා ලකුණු 119ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක කෝලි හා මනීෂ් පාන්ඩේ ඉන්දීය ජයග්‍රහණයේ නියමුවෝ වූහ. කෝලි පන්දු 54කදී හතරේ පහර 7ක් හා හයේ පහරක් සමග ලකුණු 82ක් රැස්කළ අතර, පාන්ඩේ පන්දු 36කදී හතරේ පහර 4ක් හා හයේ පහරක් සමග නොදැවී ලකුණු 51ක් ද දෝනි නොදැවී ලකුණු 1ක් ලබා සිටියහ.

    තරගයේ වීරයා සම්මානය දිනාගත් විරාට් කෝලි තම 50වැනි විස්සයි 20 තරගයේදී 17වැනි අර්ධ ශතකය සීකුගේ ප්‍රසන්නගේ පන්දුවකට අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් ලබාගත් ලකුණු 2කින් වාර්තා කළේය. 8වැනි විස්සයි 20 තරගයේදී පාන්ඩේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

    ශ්‍රී ලංකා පන්දු යවන්නන් හයදෙනකු අතුරින් වැඩිම ප්‍රහාරයට ලක්වූයේ තිසර පෙරේරාය. ඔහුගේ ඕවර් 1.2ට ලකුණු 20ක් එල්ල වූ අතර මැතිව්ස්ගේ ඕවර් 3කදී ලකුණු 33ක ප්‍රහාරයකට ලක්විය.

    ශ්‍රී ලංකා ඉනිමේදී ඉන්දීය පිලේ වේග පන්දු යවන බූම්රාගේ පළමු ඕවරයේදී ලකුණු 15ක් ශ්‍රී ලංකා පිලට එක්වූ අතර දික්වැල්ල පිට පිට හතරේ පහර තුනක් එල්ල කරමින් බලාපොරොත්තු ඇති කළේය.

    බුවනේෂ්වර් කුමාර් යැවූ ඊළග ඕවරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කළ තරංග දෙවැනි පන්දුවේදී කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් ලකුණු 5කට දැවී ගියේය. එවිට ලකුණු පුවරුව කඩුලු 1කට 23ක් වූ අතර අනතුරුව දික්වැල්ල හා මුණවීර එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 23ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ.

    දික්වැල්ල ලකුණු 17ක් ලබා සිටියදී බූම්රාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ක්‍රීඩාගාරයට ගිය අතර මැතිව්ස් පළපුරුදු කඩුලු රකින දෝනිගේ ස්ටම්ප් කිරීමකින් චාහල්ගේ පන්දුවකට දැවී ගියේය.

    තරගයට ජීවයක් ගෙනදුන් දිල්ෂාන් මුණවීර තම 10වැනි විස්සයි 20 තරගයේදී පළමු අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 26කදී හතරේ 5ක් හා හයේ පහර 4ක් ද සමගිනි. ඔහු ලකුණු 53ක් ලබා සිටියදී කුල්දීප් යාදෙව් එවූ පන්දුවකට දැවුන්ත පහරක් එල්ල කිරීමට ගොස් පිත්ත අතහැරී යෑමත් සමග පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය. එවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඕවර් 11.2කදී කඩුලු 4කට ලකුණු 99ක් විය.

    දසුන් චානකගේ හා සීකුගේ ප්‍රසන්නගේ කඩුලු ශ්‍රී ලංකාවට ලකුණු 35ක් එක්වෙද්දී දැවී ගිය අතර අශාන් ප්‍රියංජන් හා ඉසුරු උදාන 8වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 36ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. ප්‍රියංජන හතරේ පහරක් හා හයේ 2ක් සමග පන්දු 40කදී නොදැවී ලකුණු 40ක් හා ඉසුරු උදාන හතරේ 2ක් හා හයේ 1ක් සමග පන්දු 10කදී ලකුනු 19ක් ලබා ගත්තේය.

    ඊයේ වරින්වර ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මේ තරගය පස්වරු 7. 45ට ආරම්භ කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. යුෂ්වින්දර් චාහල් කඩුලු 3ක් හා කුල්දීප් යාදෙව් කඩුලු 2ක් බිඳහෙලීමට සමත් වූහ.



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඉන්දියාවට විස්සයි 20 තරගයෙන් කඩුලු 7ක ජයක් Rating: 5 Reviewed By: editor
    Scroll to Top