728x90 AdSpace

  • Latest News

    Sunday, February 18, 2018

    විස්සයි20 තරගාවලියෙත් ජය ශ්‍රී ලංකාවට - තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස් - Video

    බංග්ලාදේශයේ පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය හා ටෙස්ට් තරගාවලිය ජයගත් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ ෂිලාත්හිදී පැවැති දෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් බංග්ලාදේශය පරදවා ලකුණු 75ක ජයක් හිමිකර ගනිමින් විස්සයි20 තරගාවලියද ජය ගැනීමට සමත් වූහ.

    තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් ඕවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 210ක් ලබාගත් අතර පිළිතුරු ලෙස සත්කාරක බංග්ලාදේශයට ඕවර 18.4කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 184ක් පමණි.


    ලකුණු 211ක අසීරු ඉලක්කයක් හඹායෑම ඇරැඹු බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල ලකුණු 8ක් තුළ බිඳ දැමීමට අකිල ධනංජය සමත් විය. පන්දු 4කට මුහුණදුන් සෞම්‍යා සර්කාර්ට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමිනොවුණි.

    අනතුරුව ක්‍රියාත්මකවූ ෂෙහාන් මධුසංක තුන්වැනි ඕවරයෙන් තෙවැනි හා හයවැනි පන්දුවලින් පළමු තරගයේදී ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ මුෂ්ෆිකූර් රහීම් (6) හා මොහොමඩ් මිතුන් (5) දවා ගනිමින් බංග්ලාදේශය දැඩි පීඩනයකට හසුකර ගත්තේය.

    ඉනිමේ පස්වැනි ඕවරය යැවීම සඳහා යළිත් පැමිණි මධුසංකට යැවිය හැකිවූයේ එක් පන්දුවක් පමණි. පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදුවූ අතර දසුන් ශානක විසින් එම ඕවරය සම්පූර්ණ කළේය. ලකුණු 22කට කඩුලු 3ක් බිඳ වැටී තිබියදී ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් සමග එක්වූ නායක මහමුදුල්ලා ලකුණු 37ක සබඳතාවක් ගොඩනැගූ අතර අමිල අපෝන්සුට මංගල කඩුල්ල හිමිකර දෙමින් ඉක්බාල් (29) දැවී යෑමෙන් එම සබඳතාව නිමාවට පත්විය.

    තවත් ලකුණු 9ක් තුළ අරිෆුල් හක් (2) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ජීවන් මෙන්ඩිස්ට හැකිවිය. 6වැනි කඩුල්ලට නායකයා සමග එක්වූ මොහොමාඩ් සයිෆුඩීන් ඉනිමේ ඉහළම සබඳතාව ලෙස 42 ක් එක් කළේය. ඉසුරු උදාන යැවූ 15වැනි ඕවරයේ 2 වැනි පන්දුවෙන් මහමුදුල්ලා දුවද්දි දැවී යෑමට හසුවූ අතර පස්වැනි පන්දුවෙන් අතිරේක ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ උඩ පන්දුවක් රැක ගන්නා විට සයිෆුඩීන් ලබාගෙන සිටියේ ලකුණු 20ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මහමුදුල්ලා හතරේ පහර 4ක් හා හයේ පහරක් සමගින් පන්දු 31කින් ලකුණු 41ක් රැස් කළේය.

    මුළු ලකුණු 132දී මෙහෙදි හසන් (11) දසුන් ශානකගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඊළඟ ඕවර යැවීමට කැඳවූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 3ක් තුළ අවසන් කඩුලු 2ක බිඳ දැමීමත් සමග ශ්‍රී ලංකාවට ජය හිමිවිය.

    කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිලේ අරාධනයෙන් ඉනිම ඇරැඹු කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ලට ලකුණු 98ක් එක් ක‍‍ළේ පන්දු 66ක් පමණක් වැය කරමිනි.

    දෙවරක් දැවී යෑමෙන් බේරුණු ගුණතිලක සෞම්‍යා සර්කාර්ගේ පන්දුවක් හමුවේ ටමීම් ඉක්බාල් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී යෑමත් සමග පළමු කඩුල්ලේ සබඳතාව බිඳ වැටිණි. ලකුණු පන්දු 37කට මුහුණදුන් ඔහු හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 42ක් රැස්කරගෙන තිබිණි. ඔහු ලකුණු 15ක් ලබාසිටියදී ටමීම් ඉක්බාල් අතින්ද, ලකුණු 28ක් ලබාසිටියදී නායක මහමුදුල්ලා අතින්ද උඩ පන්දු ගිලිහී ගොස් තිබිණි.

    අනතුරුව පිතිකරු පෙළේ උසස් වීමක් සමගින් ප්‍රවේගකාරී පිතිකරු තිසර පෙරේරා දෙවැනි කඩුල්ලට කුසල් මෙන්ඩිස්ට එක්විය. ඔවුන් දෙදෙනා මුළු ලකුණු සංඛ්‍යාව 149 දක්වා ඉදිරියට ගෙන ගිය අතර හතරේ පහර 3ක් හා හයේ පහරක් සමගින් පන්දු 17කින් ලකුණු 31ක් රැස්කළ තිසර පෙරේරා දැවී ගියේ අබු ජායාඩ්ට මංගල ජාත්‍යන්තර කඩුල්ල හිමිකර දෙමිනි. ඊයේ සිය විස්සයි20 ජාත්‍යන්තර තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව (70) රැස්කළ කුසල් මෙන්ඩිස් පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 29ක් පමණක් වැය කරමිනි.

    වේගවත් පිතිහරඹයක නිතරවූ මෙන්ඩිස්ගේ ඉනිම නිමා කිරීමට මුස්ටෆිසුර් රෙහ්මාන් සමත්වුවද ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඕවර 16.3කදී 160ක්ව තිබිණි. පන්දු 42කින් ගොඩනැගුණු මෙන්ඩිස්ගේ ඉනිම හතරේ පහර 6කින් හා හයේ පහර 3කින් වර්ණවත් විය.

    මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් අනතුරුව උපුල් තරංග සමගින් එක්වූ දසුන් ශානක වේගවත් පිතිහරඹයක් දියත් කළේ පන්දු 19කින් ලකුණු 45ක සබඳතාවක් ගොඩනගමිණි.

    ශ්‍රී ලංකා ඉනිම නිමාවීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී මොහොඩම් සයිෆුඩීන්ගේ පන්දු හමුවේ තරංග දැවී යනවිට ලකුණු 25ක් ලබාසිටියේ පන්දු 13කිනි. ඊට හතරේ පහර 4ක් හා හයේ පහරක් ඇතුළත් විය. ඉනිම නිමාවනවිට ශානක නොදැවී ලකුණු 30ක් හා නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 2ක් ලබාගෙන සිටියහ. හතරේ පහර 5ක් හා හයේ පහරක් එක්වූ ශානකගේ ඉනිමට වැයවී තිබුණේ පන්දු 11ක් පමණි.

    ශ්‍රී ලංකාව ඊයේ විස්සයි20 තරගයකදී ලකුණු 200 සීමාව පසුකළේ 2015 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි. ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනසක් සිදු කරමින් නිරෝෂන් දික්වැල්ල වෙනුවට අමිල අපෝන්සුට ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් හිමිකර දුන්නේය.

    බංග්ලාදේශ කණ්ඩායම් වෙනසකම් 4ක් සිදුකරමින් මෙහෙදි හසන් හා අබු ජායාඩ්ට මංගල තරග වරම් හිමිකරදුන් අතර ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් හා මොහොමඩ් මිතුන්ද කණ්ඩායමට කැඳවා තිබුණේ අෆීස් හුසේන්, රුබෙල් හුසේන්, සබීර් රහ්මාන් හා සකීර් හසන් ඉවත් කරමිනි.

    අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද කුසල් මෙන්ඩිස්ට හිමිවිය. 

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: විස්සයි20 තරගාවලියෙත් ජය ශ්‍රී ලංකාවට - තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස් - Video Rating: 5 Reviewed By: editor
    Scroll to Top