728x90 AdSpace

  • Latest News

    Tuesday, March 6, 2018

    ඉංදියාවට එරෙහිව T20 පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක විශිෂ්ට ජයක් : Srilanka 1st T20 Full Highlights 2018

    තිස්දහසකට අධික ප්‍රේක්ෂක පිරිසකගේ ජයඝෝෂා මැද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වූ නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය අත්වෙයි. ආර්. ප්‍රේමදාස පිටියේ පසුගිය වසරේ පැවැති එක්දින තරග දෙකකදී හා විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකාව පිට පිට පරාජය කළ ඉන්දියාව ඊයේ ශ්‍රී ලංකාව හමුවේ අසරණ වූයේ පන්දු 9ක් තිබියදී කඩුලු 5ක පරාජයකිනි.

    ඉන්දියාව ඕවර් 20කදී කඩුලු 5කට ලබාගත් ලකුණු 174ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිල ඕවර් 18.3කදී කඩුලු 5කට ලකුණු 175ක් ලැබීය. 

    තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමට අවසන් පන්දු 25දී ලකුණු 35ක් ගත යුතු වුවද පසුව අවසන් ලකුණු 4 ලබා ගැනීමට පන්දු 10ක් ඉතිරිවූ පහසු ඉලක්කයක් බවට පත්විය. එම ජයග්‍රාහී ලකුණු හතර නොදැවී ලකුණු 15ක් ලබාගත් දසුන් ශානකගේ පිත්තෙන් වාර්තා වූ අතර තිසර පෙරේරා නොදැවී ලකුණු 22ක් ලබා සිටියේය. තිසර පන්දු 10කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් එල්ල කිරීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට කදිම පිටුබලයක් විය. 

    ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ කුසල් ජනිත් පිටිය වර්ණවත් කරමින් විශිෂ්ට ලෙස ලකුණු 66ක් ලබා ගැනීම කැපී පෙණුනි. ඔහුගේ ඉනිම කෙතරම් ශක්තිමත් ද යන්න පැහැදිලි වූයේ ඔහු එල්ල කළ සිවුවැනි හයේ පහර රිවර්ස් ස්වීප් පහරකින් නිමා කිරීමට තරම් හැකියාව තිබූ බැවිනි. වමතින් පන්දුවට පහර දෙන කුසල් ජනිත් සතර අතට පහර එල්ල කරමින් හතරේ පහර 6ක් ද සටහන් කළේය. කුසල්ගේ ඉනිම නිමා වූයේ දකුණතින් පිට දඟ පන්දු යැවූ වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවකට දිනේෂ් කාර්තික් ස්ටම්ප් කිරීමෙනි. 

    ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර මෙන්ඩිස් ලකුණු 11කට දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා හා ධනුෂ්ක ගුණතිලක අතර ලකුණු 58ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබියදී ධනුෂ්ක ලකුණු 19කට දැවී ගියේය. ඔහු පන්දු 12කදී හයේ පහර 2ක් හා හතරේ පහරක් සමග ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ නායක චන්දිමාල් පන්දු 11කදී ලකුණු 14කට දැවී ගියේය. තරංග ලකුණු 18කදී හයේ පහරක් සමග ලකුණු 17කට දැවී ගියේ චාහල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවැටීමෙනී. 

    ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ඉන්දීය පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර නායක රෝහිත් ෂර්මා හා ශිකර් ධවාන් ඉන්දීය ඉනිම ආරම්භ කළ ද පළමු ඕවරයේ සිවුවැනි පන්දුවේදී ෂර්මා දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් විය. ෂර්මා එල්ල කළ උඩ පන්දුව මිඩ් ඕෆ් හී සිටි ජීවන් මෙන්ඩිස් මීටර් 15ක් පමණ දිවගොස් අගනා උඩ පන්දුවක් බවට පත්කර ගැනීමෙන් ෂර්මාගේ ඉනිම ලකුණු නොලබා නිමා විය. 

    ඉන්දීය දෙවැනි කඩුල්ලද ඉක්මණින් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූ අතර නුවන් ප්‍රදීප් යැවූ තම පළමු ඕවරයේ අවසන් පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් රයිනා ලකුණු 1කට දැවී ගියේය. එවිට ඉන්දීය ලකුණු පුවරුව කඩුලු දෙකකට ලකුණු 9ක්ව තිබූ අතර ෂිකර් ධවාන් හා මනීෂ් පාන්ඩේ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 95ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ. පාන්ඩේ පන්දු 35කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 37ක් ලබා ගැනීම ඉන්දීය ලකුණු පුවරුවට ශක්තියක් විය. ජීවන් මෙන්ඩිස් එවු පන්දුවකට ඩීප් මිඩ්විකට් හී සිටි ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් දී පාන්ඩේ ක්‍රීඩාගාරයට නික්ම ගියේය. 

    ඉන්දීය ඉනිම ගොඩ නැගීමට ප්‍රබල දායකත්වයක් දුන් ෂිකර් ධවාන් තම විස්සයි 20 ක්‍රිකට් දිවියේ ඉනිමක හොඳම පිතිකරණය වාර්තා කරමින් ලකුණු 90ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක්වූ ධවාන් හයේ පහර 6ක් හා හතරේ පහර 6ක් අලංකාර ලෙස එල්ල කළේය. 

    තෙවැනි විස්සයි 20 තරගයට ක්‍රීඩා කරන රිසාබ් පාන්ට් ලකුණු 23ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවකට නුවන් ප්‍රදීප් වෙත උඩ පන්දුවක් දී දැවීගිය අතර දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 13ක් ලබා සිටියේය. 

    පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 2ක්, නුවන් ප්‍රදීප්, ජීවන් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ. 

    නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරගය ඉන්දියාව හා බංග්ලාදේශය අතර හෙට (8) ආර්. ප්‍රේමදාස පිටියේදී පස්වරු 7ට ආරම්භ වෙයි.



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඉංදියාවට එරෙහිව T20 පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක විශිෂ්ට ජයක් : Srilanka 1st T20 Full Highlights 2018 Rating: 5 Reviewed By: editor
    Scroll to Top