728x90 AdSpace

  • Latest News

    Wednesday, March 8, 2017

    ශ්‍රී ලංකාව 494යි - බංග්ලාදේශය කඩුලු 2ට ලකුණු 133යි

    කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 194ක සුපිරි පිතිහරඹය හා නිරෝෂන් දික්වැල්ල සහ ඩිල්රුවන් පෙරේරාගේ අර්ධ ශතක මත ශ්‍රී ලංකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 494ක් වාර්තා කළේය. පිළිතුරු වශයෙන් බංග්ලාදේශය ඊයේ දෙවැනි දින තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 133ක් රැස්කර ගෙන සිටියේය.

    දික්වැල්ල ලකුණු 75ක් ලබා ගත් අතර ඩිල්රුවන් ලකුණු 51ක් රැස් කළේය. මෙන්ඩිස් හා දික්වැල්ල පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110ක සබඳතාවක් පිහිටුවූහ.

    බංග්ලාදේශය වෙනුවෙන් ටමිම් ඉක්බාල් හා සොම්යා සර්කාර් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක සබඳතාවක් ගොඩනැගුහ. ඉක්බාල් ලකුණු 57කට දැවී ගිය අතර සර්කාර් පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් හා හයේ පහරක් සමග ලකුණු 66ක් රැස්කර ගෙන නොදැවී ක්‍රීඩා කරමින් සිටියේය. නොදැවුනු අනෙක් පිතිකරු නායක මුෂ්ෆිකුර් රහිම් එක ලකුණක් ලබා ගෙන සිටියේය.

    කුසල් මෙන්ඩිස් ද්විත්ව ශතකය පෙනි පෙනී තිබියදී ඊයේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ නරඹන්නන් මෙන්ම ශ්‍රී ලංකා කඳවුරද මහත් කම්පාවට පත් කරවමිනි. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 194ක් රැස්කර ගෙන සිටි මෙන්ඩිස් උත්සාහ කළේ හයේ පහරකින් ද්විත්ව ශතකය වාර්තා කිරීමටය. මෙහෙඩි හසන්ගේ පන්දුවට මෙන්ඩිස් එල්ල කළ දැවැන්ත පහරින් පැමිණි පන්දුව ටමිම් ඉක්බාල් අල්ලා ගත්තේ ඉතාමත් දක්ෂ ආකා‍රයෙනි. ‘ලෝන්ග් ඕන්’ ස්ථානයට පැමිණි පන්දුව අල්ලා ගැනීමට පසුපසට දිව ගිය ඉක්බාල් උඩ පන්දුව රැක ගනිද්දී පාදයක් හතරේ සීමාවෙන් එහාට යන බව දැනී පන්දුව නැවත පිටිය ඇතුළට විසි කර වහාම යළි පිටියට පැමිණ එය අල්ලා ගත්තේය. මෙන්ඩිස් ලකුණු 175ක් ලබා ගෙන සිටියදීත් මෙවැනිම දෙයක් සිදු වූවද එහිදී මුස්ටෆිසුර් රහ්මාන් උඩ පන්දුව රැක ගත්තේ පාදයක් හතරේ සීමාවට පිටින් තබා ගෙනය. එබැවින් එය හයේ පහරක් බවට පත්විය.

    පැය 7ක් හා මිනිත්තු 21ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 285කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස්ගේ අගනා ඉනිමට හතරේ පහර 19ක් හා හයේ පහර 4ක් ඇතුළත්ව තිබිණි.

    කඩුලු 4 ට ලකුණු 321 සිට ඊයේ දෙවැනි දින තරගය ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලෙසින් මෙන්ඩිස් දැවී යන විට මුළු ලකුණු ප්‍රමාණය 398ක් ලෙස සටහන්ව තිබිනි. ලකුණු 166 සිට ඊයේ පිතිහරඹය ආරම්භ කළ මෙන්ඩිස් දැවී ගියේ ඊයේ යැවුනු 16 වැනි ඕවරයේදීය. මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 20.4ක් ඇතුළත ලකුණු 110ක සබඳතාවක් පිහිටුවූහ.

    දිවා ආහාරයට මිනිත්තු පහළොවක් තිබියදී 6 වැනි කඩුල්ල බිඳ වැටෙමින් නිරෝෂන් දික්වැල්ල දැවී ගියේය. එම කඩුල්ල ලබා ගත්තේද හසන් ය. පෙරේදා තරගය නතර කරන විට ලකුණු 14ක් ලබා ගෙන සිටි දික්වැල්ල ඊයේ ‘ෂෝට් තර්ඩ් මෑන්’හි පන්දු රකිමින් සිටි මහ්මුදුල්ලා අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ලකුණු 75ක් රැස්කර ගෙන සිටියේය. මිනිත්තු 129ක කාලයක් තුළ පන්දු 76කට මුහුණ දුන් දික්වැල්ලගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහරක් ඇතුළත්ව තිබිනි. දික්වැල්ල හා ඩිල්රුවන් පෙරේරා 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39කින් ලකුණු 34ක් එක් කළහ.

    ඊයේ උදය වරුවේ ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව කඩුලු 2ක් අහිමි කරගෙන ලකුණු 122ක් රැස් කර ගත් අතර දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 6කට ලකුණු 443ක් ලබා ගෙන සිටියේය. මේ කඩුලු 2 හසන් ලබා ගත්තේ ලකුණු 38ක් ලබා දෙමිනි.

    දිවා ආහාරයෙන් පසුව ඕවර 15යි පන්දුවක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 4 ලකුණු 51කට බිඳ වැටිනි. දහවල් වරුව ක්‍රීඩාවේ යැවුනු තෙවැනි ඕවරයේදී ශ්‍රී ලංකා 7 වැනි කඩුල්ල මුළු ලකුණු 457දී බිඳ වැටෙමින් නායක රංගන ‍හේරත් දැවී ගියේය. හතරේ පහර 3ක් සමග ලකුණු 14ක් (පන්දු 19) රැස් කළ හේරත් ආපසු ක්‍රීඩාගාරයට ගියේ මුස්ටෆිසුර් රහ්මාන්ගේ පන්දුවට පළමු ‘ස්ලිප්’හි සොම්යා සර්කාර් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. හේරත් හා ඩිල්රුවන් පෙරේරා 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38කින් ලකුණු 25ක් එක් කළහ.

    සුරංග ලක්මාල් (8) මුළු ලකුණු 480දී දුවද්දී දැවී ගියේය. ඉන්පසුව ලකුණු පුවරුවට තවත් ලකුණු 14ක් එක්ව තිබියදී ඩිල්රුවන් පෙරේරා, මෙහෙඩි හසන්ගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් දැවී ගියේය. හතරේ පහර 7ක් හා හයේ පහරක් එල්ල කළ ඩිල්රුවන් පන්දු 77කින් ලකුණු 51ක් රැස් කළේය. ඩිල්රුවන් පෙරේරා ඊයේ ලබා ගත්තේ ඔහුගේ තෙවැනි ටෙස්ට් අර්ධ ශතකයයි. මුළු ලකුණු සංඛ්‍යාව 494ක් ලෙස සටහන්ව තිබියදීම ලක්ෂාන් සඳකැන් (5) ෂකිබ් අල් හසන්ගේ පන්දුවට දුන් උඩ පන්දුව මෙහෙඩි හසන් දර්ශනීය ලෙස රැක ගැනීමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් විය.

    බංග්ලාදේශය කණ්ඩායමේ වඩාත්ම සාර්ථක පන්දු යවන්නා වූ පිට දඟ පන්දු යවන මෙහෙඩි හසන් ලකුණු 113කට කඩුලු 4ක් ලබා ගත්තේය.

    බංග්ලාදේශ ඉනිමේදී ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලය කළින්ම දවා ගැනීමට තිබූ අවස්ථාවන් උඩ පන්දු රැක ගැනීමේ දුර්වලතාව හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමිව ගියේය. සොම්යා සර්කාර් ලකුණු 4ක් ලබා ගෙන සිටියදී සුරංග ලක්මාල්ගේ පන්දුවට දුන් උඩ පන්දුව ‘ගලී’ ස්ථානයේදී ඩිල්රුවන් පෙරේරා අතහැරියේය. ඒ වන විට බංග්ලාදේශය ලබා ගෙන සිටියේ ලකුණු 9ක් පමණි. ඉන්පසුව, ටමිම් ඉක්බාල් ලකුණු 28ක් රැස්කර ගෙන සිටියදී ඩිල්රුවන්ගේ පන්දුවට දුන් උඩ පන්දුව කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලගේ දෑතින් ගිලිහිණි. ඒ වන විට මුළු ලකුණු ප්‍රමාණය 49ක්ව තිබිණි.

    ඉක්බාල් හා සර්කාර් ඕවර 36ක් තමන්ගේ කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු 118ක් දක්වා මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූ අතර මෙය ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයේ වැඩිම ආරම්භක කඩුලු සබඳතාව විය. එම සබඳතාව අවසන් වෙමින් ඉක්බාල් දැවී ගියේ අපූරු සිදුවීමකිනි. පා පෙදෙසින් පැමිණි ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවට ඉක්බාල් පහරක් එල්ල කළ අතර පන්දුව කඩුල්ල පිටුපසට ගියේය. එය උඩ පන්දු රැක ගැනීමක් ලෙසට තීරණය කරන්නැයි ඉල්ලා කඩුලු රකින දික්වැල්ල හඬ නැගුවේය. ඉක්බාල් සිතුවේ පිත්තේ වැදුනු පන්දුව පිටිය දිගේ ගිය බවය.

    ඔහු ලකුණක් කරා දිව යාමට පියවර කිහිපයක් ඉදිරියට ගියේය. එහෙත් පන්දුව තිබුනේ කඩුලු රකින්නා අතේ බව ඉක්බාල් දැන සිටියේ නැත. දික්වැල්ල වහාම කඩුල්ල බිඳ දැමුවේය. පන්දු 112කට මුහුණ දුන් ටමිම් ඉක්බාල් හතරේ පහර 6ක් සමග ලකුණු 57ක් රැස් කළේ‍ය. එය ඉක්බාල්ගේ 21 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය.

    ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් මොමිනුල් හක් (7) දෙවැනි කඩුල්ල ලෙසින් මුළු ලකුණු 127දී දැවී ගියේය.

    අද තරගයේ තෙවැනි දිනයයි.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ශ්‍රී ලංකාව 494යි - බංග්ලාදේශය කඩුලු 2ට ලකුණු 133යි Rating: 5 Reviewed By: Anonymous
    Scroll to Top