728x90 AdSpace

  • Latest News

    Wednesday, August 9, 2017

    වසර 4කට පසුව ගයාන් යතුරපැදි කිරුළ දිනයි

    වසර ගණනාවකට පසුව යතුරුපැදි ධාවන පථයේ දිදුලන තරුව බවට පත්වෙමින් ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස අභිෂේක ලැබීමට සුපිරි ධාවන ශූර ගයාන් සඳරුවන් සමත්විය. මින්නේරිය තමන්කඩුව කාළතුවක්කු හමුදා පරිශ්‍රයේ ගනර්ස් ධාවන පථයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ දී ‘එම්. එක්ස්’ 175 සී.සී.- 250 සී.සී.(4ටී)/100 සී.සී. – 125 සී.සී. (2ටී) පළමු තරගයෙන් පළමු ස්ථානයත්, දෙවැනි තරගයෙන් සිවුවැනි ස්ථානයත් දිනාගනිමින් ගයාන් සඳරුවන් මේ දස්කම දැක්වීය.
    පළමු තරගයේ ආරම්භයේදී සිව්වැන්නා ලෙස තරගයට ප්‍රවිශ්ටය ලබාගත් ගයාන් සෙමින් සෙමින් එක් එක් තරග කරුවා පරයා යමින් අවසන් තරග වටයේ අවසන් මීටර් 150 දී පසුගිය වසරේ ගනර් දක්ෂතම යතුරුපැදි ධාවකයා වූ ඉෂාන් අභිබවා මේ ජයග්‍රහණය අත්කර ගත්තේය. එම ඉසව්වේම දෙවැනි තරගයේදී සිවු වතාවක් ධාවන පථයේ අනතුරුවලට ලක්වූවත් සිය දීර්ඝ අත්දැකීම් භාවිත කරමින් සිව්වැන්නා ලෙස ඔහු තරගය නිමා කළේය.
    ප්‍රසාද ලකුණු සටහනේ ‍ඉවේන් බියාජී සමඟ සමලකුණු හිමිකරගත් ගයාන් සඳරුවන් දක්ෂතම ධාවකයා වූයේ පළමු තරගය ජයගැනීම හේතුවෙනි. මීට පෙර පස් වතාවක් දක්ෂතම ගනර් ධාවකයා වූ ගයාන් සඳරුවන් අත්දැකීම් ලත් ක්‍රීඩකයකු ලෙස ගනර් ධාවන පථය තුළ තරග කළ ආකාරය අතිවිශිෂ්ටය. ඔහු ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස අභිෂේක ලැබුවේ 2013 වසරෙන් පසුවය.
    මේ අතර මෝටර් රථ ධාවන අංශයෙන් පළමුවරට ගනර් සුපර්ක්‍රොස් තරගබිමේ දක්ෂතම මෝටර් රථ ධාවකයා බවට පත්වීමට අෂාන් සිල්වා සමත්විය.
    එස්.එල්./ජී.ටී. 3500 සී.සී. තරග ඉසව්වේ දී අෂාන් සාර්ථක ආරම්භයක් ලබාගෙන ධාවනයේ නියැලණත් තෙවැන්නා ලෙස තරගය ආරම්භ කළ කුෂාන්ගෙන් දැඩි අභියෝගයක් එල්ලවිය. අෂාන් හා කුෂාන් වට අටකින් සමන්විත වූ එස්.එල්./ජී.ටී. 3500 සී.සී. අවසන් තරග ඉසව්ව පුරාවටම කරට කර සටනක නියැලුණේය. නමුත් ජාත්‍යන්තර අත්දැකීම් මෙන්ම වසර ගණනාවක අති දක්ෂ රියදුරකු ලෙස තමා සතු විශේෂඥ දැනුම විදහාලමින් අෂාන් සිල්වා තරගය ජයගත්තේ කුෂාන් දෙවැනි ස්ථානයට ඇද දමමිනි.
    උපුල්ගේ පුත් ඩේවියන් සේරසිංහ1000 සී.සී. එස්.එල්. /ඊ. නිසාන් මාච් තරග ඉසව්වෙන් ජයවාර්තා කළේය. එකම කාන්තා ක්‍රීඩිකාව එස්.ඒ. ලක්ෂිකා නිසාන් මාච් තරගයෙන් දෙවැන්නා විය. ‘එම්. එක්ස්’ 175 සී.සී.- 250 සී.සී.(4ටී)/100 සී.සී. – 125 සී.සී. (2ටී) පළමු තරගයෙන් තෙවැන්නාද දෙවැනි තරගයෙන් දෙවැන්නා ද වෙමින් ඉවෝන් ගුරුසිංහ කුසලාන හතරක් හිමිකරගත් අතර ළහිර් ජිවන්ත දිනයේ වැඩිම කුසලාන ප්‍රමාණයකට හිමිකම් කියමින් කුසලාන පහක් දිනා ගැනීමට සමත් වීම කැපීපෙනුණි. මේ තරගාවලියේ කණ්ඩායම් යතුරුපැදි ශූරතාව ඉවෝන් බියාජි ගුරුසිංහ හා ළහිරු ජිවන්ත නියෝජනය කළ ‘සියැට්’ කණ්ඩායම දිනාගත් අතර අශාන් සිල්වා හා මිස්සක නවීන් නියෝජනය කළ ‘මැන්ගී’කණ්ඩයම මෝටර් රථ කණ්ඩායම් ශූරතාව දිනාගත්තේය.
    එස්.එල්./එච්. 1618 සී.සී. තරග ඉසව්වේන් සකීර් වහාබ් ජයගත් අතර දිනය පුරා පැවැති තරග ඉසව් වලින් වැඩිම අනතුරු ගණනක් සිදු වූ තරග ඉසව්වද එස්.එල්./එච් තරග ඉසව්ව විය. තරගකරුවන් හයදෙනකු තරගය ආරම්භ කළත් තරගය අවසන් කළේ තරගකරුවන් දෙදෙනකු පමණි. තරගය දෙවතාවක් ආරම්භ කළ අතර පළමු වර තරග ආරම්භයේදී සචිත්‍ර පතිරණ අනතුරට ලක්වෙමින් ඔහුගේ මෝටර් රථය පෙරලී යාමෙන් තරගතීරකවරයා රතු ධජය ඔසවා තරගය නතර කළේය. ඒ වන විටත් කුෂාන්ගේ මෝටර් රථයට වූ කාර්මික දෝෂයක් නිසා තරගයෙන් ඉවත්ව සිටි අතර උපුල්වන්ගේ මෝටර් රථයද කාර්මික දෝෂයකට ලක්ව ධාවන පථයේ නතරවී තිබිණි. කාර්මික දෝෂවලට හා අනතුරුවලට ලක් වූ මෝටර් රථ ධාවන පථයෙන් ඉවත් කොට නැවතත් තරගය ආරම්භ කළ අතර මිනිත්තු ගණනකින් තම මෝටර් රථයේ කාර්මික දෝෂය නිවැරැදි කරගත් කුෂාන් ද නැවත ධාවන පථයට පිවිසියේය. වට පහකින් සමන්විතව පෙර පැවැති තරගය වට හතරකට සීමා කොට නැවත අරඹන ලදී. පළමු වටයේදීම කුෂාන්ගේ මෝටර් රථය නැවතත් අනතුරකට භාජනය වූ අතර කුෂාන්ද තරගයෙන් ඉවත් විය. මිස්සක නවීන් සමග කරට කර තරග කළ සකීර් පෙරමුණේ පසුවෙමින් දෙවැනි වටය නිමා කළ අතර නවීන්ගේ මෝටර් රථයේද කාර්මික දෝෂයක් ඇති විය. කෙසේ නමුත් තරගය අවසන් වන තුරු මිස්සක තම මෝටර් රථය සෙ‍මින් ධාවන කරමින් තරගය නිමා කළේය.
    මහේෂ් කෝදාගොඩ එස්.එල්./එන් ‍ෆෝඩ් ලේසර් - මැස්ඩා 1500 සී.සී. තරග ඉසව්වෙන් ජයගත් අතර එස්.එල්./එන් ‍ෆෝඩ් ලේසර් - මැස්ඩා 1300 සී.සී. තරග ඉසව්වෙන් උපුල්වන් සේරසිංහ ජයගත්තේය. එස්.එල්./එන් ‍ෆෝඩ් ලේසර් - මැස්ඩා 1500 සී.සී. තරග ඉසව්වෙන්ද උපුල්වන් පෙරමුණ ගෙන සිටියත් උපුල්ගේ මෝටර් රථයේ පසුපස රෝදයක් තරගය අතරතු ඔහුගේ මෝටර් රථයෙන් වෙන්වී ධාවන පථයෙන් ඉවතට විසිවීම හේතුවෙන් උපුල්ට තරගය අතරමඟ නතර වීමට සිදුවිය.
    ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ තරගාවලිය 12 වැනි වරටත් සංවිධාන කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කාළතුවක්කු රෙජීමේන්තුව විසිනි. තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 11 ක් හා යතුරු පැදි තරග ඉසව් 11 ක් ඇතුළත්ව තිබිණි.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වසර 4කට පසුව ගයාන් යතුරපැදි කිරුළ දිනයි Rating: 5 Reviewed By: editor
    Scroll to Top