728x90 AdSpace

  • Latest News

    Wednesday, September 13, 2017

    ක්‍රිකට්‌ හදන්න අමාරු නැහැ - මහේල ජයවර්ධන

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව වර්තමානයේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා හිටපු ක්‍රිකට්‌ ප්‍රවීණයන් වන සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම සහ මහේල ජයවර්ධන ඇතුළු පිරිසක්‌ එක්‌ව නව වැඩ පිළිවෙලක්‌ සකස්‌ කිරීමට ඒකමතිකව කැමැත්ත පළ කර තිබේ.

    අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් මහතාගේ ආරාධනාවකට අනුව පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාව මුවහත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ දැනුම අතින් පෝෂණය වී සිටින මහේල, වෙත්තමුණි සහ මහානාම ඇතුළු පිරිසක්‌ විසින් සිය අත්දැකීම් උපයෝගී කර ගනිමින් මෙම සැලැස්‌ම සකස්‌ කිරීමට නියමිතය.

    ඒ අනුව පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාව ඉදිරියේදී කෙසේ සකස්‌ විය යුතුද යන්න මෙම ක්‍රීඩකයන්ගේ අදහස්‌ සහ දැනුම ඇතිව විශේෂ කමිටුවක්‌ පත්කරමින් පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාව නව මාවතකට ගෙන ඒමේ සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    මේ සම්බන්ධයෙන් මහේල ජයවර්ධනගෙන් "දිවයින" විමසන ලදුව, "ක්‍රිකට්‌ හදන්න අමාරු නැහැ. හරි දේ හරි විදිහට වෙන තැනකට මගේ උපරිම සහය දෙනවා. කොහොම වුණත් පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාව නංවන්න වැඩ පිළිවෙලක්‌ සකස්‌ කරන්න කියල අපිට ආරාධනාවක්‌ අධ්‍යාපන ඇමැතිතුමා කළා. ඒකට බොහොම කැමැත්තෙන් මමත් සහභාගි වුණා. වෘත්තීය මට්‌ටමේ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු හදන්නෙ කොහොමද සහ ඔවුන්ට අවශ්‍ය ක්‍රිකට්‌ දැනුම වැනි දේ මේ අනුව ලබාදීමට මමත් සහය දෙනවා. ඒකට කමිටුවක්‌ මගින් සැලැස්‌මක්‌ ඉදිරිපත් කරල ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒකට පාසල්වල පුහුණුකරුවන් සහ විදුහල්පතිවරුන් සමඟත් සාකච්ඡා කරල මොකක්‌ද කරන්නෙ කියල මාධ්‍ය මගින් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා." යෑයි පැවසීය.

    සිදත් වෙත්තමුණි මහතාද මේ සැලැස්‌ම සකස්‌ කිරීමට තමාගේ දැනුම ලබාදීමට ඉදිරිපත්ව තිබේ. "මගේ උපරිම සහය මේ සඳහා ලබාදෙනවා. පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ වෙනස්‌ විය යුතු තැන් සහ තවත් දේවල් අපි කතා කළා. මහේලට මේ ගැන භාරදීලා තියෙනවා. ඉස්‌සර පාසල් ක්‍රිකට්‌ සහ දැන් පාසල් ක්‍රිකට්‌ අතර ඇති වෙනස නෙමෙයි ප්‍රශ්නය. අනාගතයේදී දක්‍ෂ පාසල් ක්‍රීඩකයකු හදන්නෙ කොහොමද කියල තමයි අපි බලන්න ඕන."

    පාසල් ක්‍රිකට්‌ සැලැස්‌ම සකස්‌ කිරීම සඳහා පැවැති සාකච්ඡාවට රොෂාන් මහානාමට ආරාධනා කර තිබුණද ඔහුගේ පෞද්ගලික හේතුවක්‌ මත එම රැස්‌වීමට සහභාගිවීමට නොහැකිව තිබේ. නමුත් තමාගේ පූර්ණ සහය ලබාදෙන බව පවසන මහානාම "දිවයින" කළ විමසීමකදී මෙසේ පැවසීය. "මට මේකට ආරාධනා කළාම මම බැලුව මොන වගේ වාතාවරණයක්‌ද තියෙන්නෙ කියලා. මේකට කවුද ඉන්නෙ වගේම දේශපාලනය මැදිහත් වෙනවද කියල බැලුවා. එහෙම බලල තමයි මගේ කැමැත්ත දුන්නෙ. නමුත් මට ඒ රැස්‌වීමට සහභාගි වෙන්න බැරිවුණා. ඒත් මගේ පූර්ණ කැමැත්ත මහේල ජයවර්ධනට කියල සහය ලබාදුන්නා. දේශපාලනය ගෑවෙන්නෙ නැති නිසා මම සහය දෙනවා."
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ක්‍රිකට්‌ හදන්න අමාරු නැහැ - මහේල ජයවර්ධන Rating: 5 Reviewed By: editor
    Scroll to Top