728x90 AdSpace

  • Latest News

    Friday, September 29, 2017

    චන්දිමාල්ගෙන් නායකත්වයේ ඉනිමක්

    දිනේෂ් චන්දිමාල් දියත් කළ නායකත්වයේ ඉනිම හේතුවෙන් පාකිස්තානය සමග අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 419ක් රැස්කිරීමට සමත් විය.

    ඉනිම නිමාවන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි චන්දිමාල් පන්දු 372කදී හතරේ පහර 14ක් සමගින් ලකුණු 155ක් රැස් කර තිබිණි.

    සවස තේ පානය වනවිට කඩුලු7ක් දැවී සිටි ශ්‍රී ලංකා ඉනිම තේ පානයෙන් අනතුරුව අවසන් කඩුලු 3 ලකුණු 16ක් තුළ දවා ගැනීමට මොහොමඩ් අබ්බාස්ට හැකිවිය. සුරංග ලක්මාල් (7), ලක්ෂාන් සඳකැන් (8) හා නුවන් ප්‍රදීප් දැවී ගිය පිතිකරුවන් වූහ.

    සවස තේ පානයට පෙර 6වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 92ක සබඳතාවට තිත තබමින් තම මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ලකුණු 33ක් ලබාසිටි ඩිල්රුවන් පෙරේරා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට හාරිස් සොහේල් සමත් විය. පන්දු 117කට මුහුණදුන් ඩිල්රුවන් හතරේ පහර 2ක් හා හයේ පහරක් ඉනිමට එක්කර ගත්තේය. රංගන හේරත්ට ලබාගත හැකිවූයේ ලකුණු 4ක් පමණි. පන්දු 273කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමගින් සිය ටෙස්ට් දිවියේ 9වැනි ශතකය වාර්තා කිරීමට චන්දිමාල් ඊයේ සමත් විය. මෙය ඔහු නායකත්වයට පත්වීමෙන් පසු රැස්කළ පළමු ශතකය මෙන්ම පාකිස්තානයට එරෙහිව රැස්කළ පළමු ශතකයද වෙයි. මේ ශතකය සමගින් චන්දිමාල් අවසන් වරට රැස්කළ ටෙස්ට් ශතක තුනම කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී යෑමෙන් අනතුරුව රැස්කළ ඒවා වීම විශේෂත්වයකි. මේ තරගයේදී ලකුණු 61කට කඩුලු 3ක්, බංග්ලාදේශය සමග තරගයේදී ලකුණු 24කට කඩුලු 2ක් හා ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 24ට කඩුලු 4ක් දැවී තිබියදී පිටියට පිවිසි චන්දිමාල් මෙසේ ශතක රැස්කර තිබේ.

    ඊයේ දිවා විවේකයට පෙර නිරෝෂන් දික්වැල්ල දැවී යෑමෙන් අනතුරුව 6වැනි කඩුල්ලට නායකයා සමග එක්වූ ඩිල්රුවන් පෙරේරා දෙවරක් දෑවී යෑමෙන් බේරුණි.

    ඩිල්රුවන් ලකුණු රැස් කිරීමට පෙර ඉනිමේ 115වැනි ඕවයේදී යසීර් ෂා හමුවේ කඩුල්ල මුවා කළ බවට පිටියේ විනිසුරු ලබාදුන් තීන්දුව තෙවැනි විනිසුරුගේ සහයෙන් නිවැරදි කරගත් අතර හාරිස් සොහේල් යැවූ ඉනිමේ 120 ඕවරයේ අවසන් පන්දුවෙන්ද ඔහු කඩුල්ල මුවා කළ බවට පිටියේ විනිසුරු තීරණය කළේය. නායකයාගේ දැනුම් දීමෙන් එයටද අභියෝග කළ ඩිල්රුවන් තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාවත් විය. පන්දු 31කට මුහුණදී සිටි ඔහු ඒ වනවිටත් ලකුණු රැස්කිරීම ආරම්භ කර නොතිබිණි. ඒ සමග ශ්‍රී ලංකාව තෙවරක් තෙවැනි විනිසුරු සහය ලබාගෙන තිබුණු අතර ඒවා සියල්ල සාර්ථක වී තිබිණි.

    ලකුණු 227කට කඩුලු 4ක් අහිමිව තිබියදී ඊයේ දිනය ඇරැඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ 5වැනි කඩුල්ලට තවත් ලකුණු 68ක් එක්කිරීමට චන්දිමාල් හා නිරෝෂන් දික්වැල්ල සමත් වුහ.

    පන්දු 5වැනි කඩුල්ලට ලකුණු 134කින් ගොඩනැගුණු සබඳතාව බිඳ වැටුණේ හසන් අලීගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දික්වැල්ල දැවී යෑමෙනි. 6වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස තම ඉහළ ටෙස්ට් ඉනිම වාර්තා කළ දික්වැල්ල පන්දු 117කදී හතරේ පහර 9ක් හා හයේ පහරක් සමගින් ලකුණු 83ක් රැස් කිරීමට සමත් විය. අද තරගයේ තෙවැනි දිනයයි.


    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: චන්දිමාල්ගෙන් නායකත්වයේ ඉනිමක් Rating: 5 Reviewed By: Anonymous
    Scroll to Top