728x90 AdSpace

  • Latest News

    Tuesday, December 19, 2017

    දැයෙන් සමුගෙන ගිය “ලංකාවේ පාපන්දු රජු” ගැන ඔබ නොදන්නා කතාව.

    ශ්‍රී ලංකා පා පන්දු ඉතිහාසයේ බිහිවූ දක්‍ෂතම පා පන්දු ක්‍රීඩකයකු ලෙස හඳුන්වන ලබන පී.ඩී. සිරිසේන මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. මියයන විට 77 වියේ පසු වූ සිරිසේන මහතා අතිදක්‍ෂ පා පන්දු ක්‍රීඩකයකු මෙන්ම ආසියානු පා පන්දු සම්මේලනයේ උපදේශකවරයකු වන අතර, ශ්‍රී ලංකා ජාතික පා පන්දු කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙසද කටයුතු කර තිබිණි.

    අඩ සියවසකට අධික කාලයක් පාපන්දු පිටිය වර්ණවත් කළ,විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් බිහිකිරීමට දායකවූ ඒ මහතා මෙරට පාපන්දු පිටියේ පියා ලෙසද හදුන්වයි.

    හිටපු ශ්‍රී ලංකා ජාතික පාපන්දු නායකයකු මෙන්ම පුහුණුකරුවකු ලෙස කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරමින් පාපන්දු පිටියේ ඉහළම ගෞරවයට පාත්‍ර වීමට සිරිසේන මාස්ටර් වාසනාවන්ත විය. ඒ නිසාම වසර 1987දී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සිරිසේන මාස්ටර්ට උපහාර පිණිස මාළිගාවත්තේ නාගරික ක්‍රීඩා පිටිය පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ලෙස නම් කිරීමට පියවර ගත්තේය. වසර 2014දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට වසර 75ක් පිරීම නිමිත්තෙන්, ලෝක පාපන්දු සම්මේලන සභාපති ජෝෂප් සෙෆ් බ්ලැටර් මහතා අතින් ජීවිත කාලයේ වටිනාම සම්මානය හා මුදලින් රුපියල් ලක්ෂ 5ක් සිරිසේන මහතා වෙත පිරිනැමුණි.

    මෙරට එෆ්. ඒ. පාපන්දු ඉතිහාසයේ අමරණීය සටහන් රැසක් සනිටුහන් කිරීමට සිරිසේන මාස්ටර් සමත්ව සිටී. කොළඹ ප්‍රයිස් පාක් පිටියේ සුවිශාල මතක සටහන් තැබූ සිරිසේන මාස්ටර් වයස අවුරුදු 16දී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට එක් විය. ඔහු වසර 1956 සිට 1972 දක්වා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේය. 1962දි ජාතික පාපන්දු පිලට එක්ව වසර 7කට වැඩි කාලයක් සිරිසේන මාස්ටර් ක්‍රීඩා කළේය.

    1960 දී එෆ්. ඒ. කුසලාන අවසන් තරගයේ දී ගෝල් 6ක් ද සමග එම වසරේ එෆ්. ඒ. තරගාවලියේ ගෝල් 24ක් ලබා වාර්තාවක් පිහිටුවීමට සිරිසේන මාස්ටර් සමත් විය. අවසන් මහා තරගයක වැඩිම ගෝල් ලාභියා ලෙසද එෆ්. ඒ කුසලාන තරගාවලියක වැඩිම ගෝල් රැස් කළ කී‍්‍රඩකයා ලෙසද “සිරිසේන මාස්ටර්” තබා තිබෙන වාර්තාව ඔහුගේ ගෝලයකු හෝ වෙනත් කී‍්‍රඩකයකු අද වන තුරු මකා දැමීමට සමත් නොවීම විශේෂත්වයකි. සිරිසේන මාස්ටර් එවැනි දස්කමක් දැක්වූයේ අද වැනි තාක්ෂණික පහසුකම් නොමැති කාලයකදී බැවින් එහි වටිනාකාම මිළ කළ නොහැක.

    වසර 1965දී බංග්ලාදේශයේ ඩකා වොන්ඩර්ස් පිලට හා 1966 – 67 කාලයේදි නෙදර්ලන්තයේ ඇVC අල්මොලෝ පිලට එක්ව සිටි අතර පසුව ඔහු වේල්සයේ සිවැන්සියා පිලේ පුහුණු උපදේශකයකු ද විය.

    වසර 1976 සිට 1988 දක්වා වරින් වර අවස්ථා කිහිපයකදීම ජාතික පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ සිරිසේන මාස්ටර් 1987දී මාලදිවයිනේ නිව් රේඩියන්ට් පිලේ පුහුණුකරු ද 1988දී මාලදිවයිනේ ජතික පාපන්දු පුහුණුකරු ලෙස ද කටයුතු කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන්නේය. මාලදිවයිනේ පාපන්දු ක්‍රීඩාවට ජීවයක් දුන් පුරෝගාමියකු වූ සිරිසේන මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උපදේශකයෙකු තාක්ෂණික අධ්‍යක්ෂවරයකු හා ආසියානු පාපන්දු පුහුණු උපදේශකවරයකු ලෙස කටයුතු කළේය.

    සිරිසේන මාස්ටර් පාපන්දු ක්‍රීඩාවට මෙන්ම බොක්සිං ක්‍රීඩාවට ද ඇලුම් කළේය. 1966දී ආධුනික ජාතික බොක්සිං ශූරතාවලියේදී සිරිසේන මාස්ටර්ගේ පහරකින් ප්‍රතිවාදියෙකු බිම හෙළූ ඉතිහාසයක් ද ඇත.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දැයෙන් සමුගෙන ගිය “ලංකාවේ පාපන්දු රජු” ගැන ඔබ නොදන්නා කතාව. Rating: 5 Reviewed By: editor
    Scroll to Top