728x90 AdSpace

  • Latest News

    Thursday, January 25, 2018

    ලක්මාල් හා චමීර බංග්ලාදේශ ඉනිම වනසති - කඩුලු 10ක ජයක් ශ්‍රී ලංකාවට

    බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ධකා නුවර ඊයේ පැවැති තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ නිරායාසයෙනි.

    ‘තරගයේ වීරයා’ වූ සුරංග ලක්මාල් හා දුෂ්මන්ත චමීරගේ වේග පන්දු ප්‍රහාරය හමුවේ අන්දමන්ද වූ බංග්ලාදේශය තමන්ට හිමි ඕවර පණහෙන් අඩක් හෝ පිතිකරණයේ යෙදීමට අසමත් වෙමින් ඕවර 24ක් ඇතුළත ලකුණු 82කට දැවී ගියේය. කිසිම කඩුල්ලක් හෝ අහිමි කර නොගෙන එම ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට වැය වූයේ ඕවර 11යි පන්දු 5ක් පමණි. තරගයේ පන්දු 229ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව කඩුලු 10ක ජයක් වාර්තා කළ අතර සමස්ත තරගය ඕවර 35යි පන්දු 5ක් ඇතුළත අවසන් විය.

    ලක්මාල් ලකුණු 21කට කඩුලු 3ක් හා චමීර ලකුණු 6කට කඩුලු 2ක්ද ලබා ගනිමින් බංග්ලාදේශ ඉනිම වැනසීමෙන් පසුව දනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 35ක්ද, උපුල් තරංග නොදැවී ලකුණු 39ක්ද රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියහ.

    තිසර පෙරේරා ලකුණු 27කට කඩුලු 2ක්ද, ලක්ෂාන් සඳකැන් ලකුණු 24කට කඩුලු 2ක්ද ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මහඟු දායකත්වයක් ලබා දුන්හ.

    පන්දු 35ක ගුණතිලකගේ ඉනිම හතරේ පහර 3ක් හා හයේ පහර 2කින් වර්ණවත්ව තිබුණු අතර පන්දු 37ක තරංගගේ ඉනිමට හතරේ පහරක් හයේ පහර 3ක් ඇතුළත්ව තිබිණි.

    කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බංග්ලාදේශය සුන්සමුල් ඉස්ලාම් වෙනුවට අබුල් හසන් කැඳවා තිබිණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට දනුෂ්ක ගුණතිලකත්, නුවන් ප්‍රදීප් වෙනුවට දුෂ්මන්ත චමීරත් තරග බිමට පිවිස සිටියහ.

    සුරංග ලක්මාල්ගේ වේග පන්දු ප්‍රහාරය හමුවේ බංග්ලාදේශ මුල් පෙල පිතිකරුවන් තිදෙනාම පළමු ඕවර පහ අවසන් වීමටත් පෙර ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. කඩුලු තුනක් අහිමි කරගෙන බංග්ලාදේශය ඔවුන්ගේ පළමු ඕවර පහ අවසානයේ රැස්කර ගෙන සිටියේ ලකුණු 21ක් පමණි.

    තරගයේ තෙවැනි ඕවරයේදී මුළු ලකුණු 5දී පළමු කඩුල්ල බිඳ වැටෙමින් අනාමුල් හක් බින්දුවට දැවී ගියේ ලක්මාල්ගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීමෙනි. පස්වැනි ඕවරයේ මුළු ලකුණු 15 හා 16දී අනෙක් කඩුලු දෙක බිඳ වැටෙමින් ෂකිබ් අල් හසන් ලකුණු 8කටත්, ටමිම් ඉක්බාල් ලකුණු 5කටත් දැවී ගියහ. ලක්මාල්ගේ පන්දුවලට මේ දෙදෙනාම දැවී ගියේ දනුෂ්ක ගුණතිලක ‘බැක්වර්ඩ් පොයින්ට්‘ ස්ථානයේ සිට ප්‍රදර්ශනය කළ අතිදක්ෂ පන්දු රැකීමෙනි. එම ස්ථානයේ සිට‘කවර් පොයින්ට්‘ කලාපයට දිව යමින් පන්දුව ඩැහැගෙන එය කෙළින්ම කඩුල්ලට එල්ල කරමින් අල්හසන් දුවද්දී දැවී යාමට හසුකර ගත් ගුණතිලක ඊට පසුව යැවුනු දෙවැනි පන්දුවේදී දර්ශනීය උඩපන්දු රැක ගැනීමකින් ඉක්බාල් දවාලුවේය.

    මුෂ්ෆිකර් රහිම් හා මහ්මුදුල්ලා එක්ව බංග්ලාදේශ මුළු ලකුණු ප්‍රමාණය 16 සිට 34 දක්වා ගෙන එමින් සිටියදී 11 වැනි ඕවරයේදී මහ්මුදුල්ලා දවාලමින් එම සිවුවැනි කඩුලු සබඳතාව බිඳ දැමුවේද ලක්මාල් ය. ලකුණු 7ක් ලබා ගෙන සිටියදී මහ්මුදුල්ලා එල්ල කළ පහරින් පැමිණි පන්දුව හතරේ සීමාව අසල ‘ෆයින් ලෙග්‘ ස්ථානයේදී රැක ගැනීමට දුෂ්මන්ත චමීර සමත් විය.

    ඉන්පසුව තිසර පෙරේරා පිට පිට ඕවර දෙකක් ඇතුළත කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය. මුෂ්ෆිකර් රහිම් හා සබිර් රහ්මාන් එක්ව ලකුණු 23ක් රැස් කරමින් සිටියදී රහ්මාන් ‘මිඩ් ඕන්‘ ස්ථානයේ පන්දු රකිමින් සිටි අතිරේක ක්‍රීඩක ෂෙහාන් මදුශංක වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 10කට දැවී ගිය අතර මුළු ලකුණු 71දී අබුල් හසන් (7), කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

    බංග්ලාදේශය ලකුණු 79ක් වාර්තා කර සිටියදී ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වූ මුෂ්ෆිකර් රහිම් ලකුණු 26කට දැවී ගියේය. නසිර් හුසේන් (3) ඊළඟට දැවී ගිය අතර මේ කඩුලු දෙකම ලබා ගත්තේ දුෂ්මන්ත චමීර ය. ලක්ෂාන් සඳකැන් ඉතිරි කඩුලු 2 ලබා ගත්තේ නායක මෂ්රෆි මොටාසා (1) ගේ කඩුල්ල බිඳ දමමින් හා උපුල් තරංග වෙතට උඩ පන්දුවක් ලබා දීමට රුබල් හුසේන් (0) පොලඹවමිනි.

    තුන්කොන් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර හෙට පැවැත්වේ.


    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලක්මාල් හා චමීර බංග්ලාදේශ ඉනිම වනසති - කඩුලු 10ක ජයක් ශ්‍රී ලංකාවට Rating: 5 Reviewed By: Anonymous
    Scroll to Top