728x90 AdSpace

  • Latest News

    Wednesday, February 7, 2018

    ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්‌ට්‌ තරගය අද - තණතීරුව ගැන බංග්ලාදේශය දෙගිඩියාවක?

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේ දෙවැනි තරගය අද (08 දා) ධාකා මීපූර් හි පිහිටි ෂෙයා බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9.00 ට ආරම්භ වීමට නියමිතය.

    මීපූර් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගි වී ඇති ටෙස්‌ට්‌ තරග දෙකම ජය ගෙන තිබේ. 2007 වසරේ ජාත්‍යන්තර ටෙස්‌ට්‌ වරම් හිමිවූ මෙම ක්‍රීඩාංගණයේදී සත්කාරක බංග්ලාදේශය සහභාගි වූ ටෙස්‌ට්‌ තරග 16 කදී ජය ගෙන ඇත්තේ තරග තුනක්‌ පමණි. තරග දහයක්‌ම ඔවුන් පරාජය වී ඇත. කෙසේ වෙතත් බංග්ලාදේශය 2015 වසරේ සිට මෙම ක්‍රීඩාංගණයේදී අපරාජිතව තරග කර ඇති අතර එහිදී ඔවුන් ඉකුත් අගෝස්‌තු මාසයේදී ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගයක්‌ ජය ගැනීමද විශේෂත්වයකි. එවකට බංග්ලාදේශයේ පුහුණුකරු වූ චන්දික හතුරුසිංහ මෙවර ශ්‍රී ලංකාවට දායකත්වය ලබාදීම සත්කාරකයන්ට නුරුස්‌සන්නක්‌ වී තිබේ.

    බංග්ලාදේශයේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ෂකීබ් අල් හසන් නොමැති වීමෙන් තරගය සඳහා සකසන තණතීරුව සම්බන්ධයෙන් ඔවුන් දෙගිඩියාවෙන් පසුවන බවක්‌ වාර්තා වේ. රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟයන්ගේ ගැලවීමේ අවදානමද ඒ අතර ප්‍රධාන වී තිබේ. 

    දෙරට අතර චිතගොං හී පැවැති පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය සඳහා සකසන තණතීරුවේදී දින පහක්‌ තුළ පිතිකරුවන් ලකුණු 1533 ක්‌ ලබා ගන්නා අතරවාරයේදී දැවී ගියේ දෙපිලේම කඩුලු 24 ක්‌ පමණි. එබැවින් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් එක්‌ අංශයකට පමණක්‌ වාසි සහගත ලෙස සකස්‌ කරන ලද මෙම තණතීරුවට එරෙහිව දඬුවම් ලකුණක්‌ ලබා දී තිබේ. ඉදිරි වසර පහ තුළදී යළිත් මෙවැනි තණතීරුවක්‌ සකස්‌ කළහොත් එම ක්‍රීඩාංගණයට තවත් දඬුවම් ලකුණු කිහිපයක්‌ අහිමි වීමෙන් ක්‍රීඩාංගණයට තහනමක්‌ පැනවීමට අයි.සී.සී. යට අවස්‌ථාව තිබේ.

    බංග්ලාදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණ ඇත්තේ තුනකි. එයින් ටෙස්‌ට්‌ තරග ක්‍රීඩා කරනු ලබන්නේ චිතගොං සහ මීපූර් හී පිහිටි ක්‍රීඩාංගණ දෙකේ පමණි. එබැවින් අද තරගයටත් පිතිකරුවන්ගේ මනදොළ පිනවන තණතීරුවක්‌ සකසා ගොඩයැමට බංග්ලාදේශය උත්සහ කළහොත් මෙම ක්‍රීඩාංගණයටද දඬුවම් ලකුණු හිමිවනු ඇත. එම නිසා බංග්ලාදේශය අද ආරම්භවන තරගයේ තණතීරුව ටෙස්‌ට්‌ තරගයකට උචිත ලෙස සකස්‌ කිරීමේ වගකීම කරට ගත යුතුවේ.

    අදාළ හේතුව නිසා අද ආරම්භ වන දෙවැනි ටෙස්‌ට්‌ තරගයට දඟ පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට සමබර තණතීරුවක්‌ සකස්‌ කිරීමට බංග්ලාදේශයට සිදුව තිබේ. එබැවින් මෙම තරගයේ තීරණයක්‌ අපේක්‍ෂාවෙන් දෙපිලම සටනට පිවිසෙනු ඇත.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්‌ට්‌ තරගය අද - තණතීරුව ගැන බංග්ලාදේශය දෙගිඩියාවක? Rating: 5 Reviewed By: editor
    Scroll to Top