728x90 AdSpace

  • Latest News

    Tuesday, March 13, 2018

    අපි සැලසුම් කළේ ඉස්‌සෙල්ලා තරග දෙක බලලා - පිතිකරුවකු නොසිටීමෙන් වැරදුණු කුරුමානම ගැන තිසර පෙරේරා කතා කරයි

    නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ ශූරතාව ඉන්දියාවට හෝ බංග්ලාදේශයට අයිති නොවීමට නම් ශ්‍රී ලංකා පිලට තවත් පිට පිටම ජයග්‍රහණ දෙකක්‌ ලබා ගැනීම අනිවාර්ය වේ. කෙසේ වෙතත් පෙරේදා ඉන්දියාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු බල ඇණියේ සටන්කාමීත්වය ගිලිහී යැමෙන් නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස අවසන් මහා තරග බලාපොරොත්තුව දෙපසට දෝලනය වෙමින් තිබේ.

    ඉන්දියාව සමග පැවැති තරගයේදී කුසල් මෙන්ඩිස්‌ හැරුණු කොට ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව සටහන් කර ගැනීමට නොහැකි වීම පරාජයේ ප්‍රධාන තේමා පාඨය විය. 'අපේ මැද පෙළ කඩුලු දෙක තුනක්‌ ළඟ ළඟ දැවී ගියා. මේ කඩුල්ලේ පන්දු යවන්නන්ට සටනක්‌ දෙන්න නම් ලකුණු 175 ක්‌වත් ඕන. ඉතිං පිතිකරුවන් ඒ දේ නොකළාම හරි අමාරුයි පන්දු යවන්නන්ට අභියෝගයක්‌ දෙන්න.' යෑයි වැඩ බලන නායකයා වු තිසර පෙරේරා තරගයෙන් පසුව පැවසීය.

    මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවැන්ත හයේ පහරකින් පිති ප්‍රහාරය ඇරඹූ කුසල් මෙන්ඩිස්‌ ශ්‍රී ලංකා ඉනිම ප්‍රාණවත් කරමින් පන්දු 38 කදී විශිෂ්ට හයේ පහර තුනක්‌ සහ හතරේ පහර තුනක්‌ සමග සිව්වැනි විස්‌සයි විස්‌ස අර්ධ ශතකය (55) ලබා ගත්තේය. මෙන්ඩිස්‌ගේ පිති ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාව පන්දු ඕවර 11 ක්‌ අවසානයේදී කඩුලු තුනකට ලකුණු 100 ක්‌ එකතු කර ගත්තද අවසන් පන්දු 48 දී ලබා ගත හැකිවූයේ කඩුලු පහක්‌ අහිමිව ලකුණු 52 ක්‌ පමණි. එය පරාජයේ තවත් සන්ධිස්‌ථානයකි. 

    'මෙන්ඩිස්‌ගේ පිති ප්‍රහාරය අති විශිෂ්ටයි. අපිට මෙන්ඩිස්‌ වටේ එකතු වෙලා තව ලකුණු 25-35 ක්‌ ලබා ගත්තා නම් තරගයේ තීරණය වෙනස්‌ වෙන්න තිබුණා. මම ඇවිල්ලා කළෙත් හයේ සහ හතරේ පහරවල් ගහල ලකුණු ටික උඩට දාන්න. නමුත් මමත් තව පොඩ්ඩක්‌ ඉවසුවනම් මේ දේ වෙන්නෙ නැහැ. මම ඇතුළු පිතිකරුවන් තමයි අවශ්‍ය ලකුණු ගාණ ගහගන්න බැරි වුණ එකට වගකියන්න ඕන යෑයි තිසර පෙරේරා සඳහන් කර සිටියේය.

    කෙසේ වෙතත් නිත්‍ය නායකයා වූ දිනේෂ් චන්දිමාල්ට ලැබුණු තරග දෙකක තහනම හේතුවෙන් කණ්‌ඩායමට කැඳවා තිබුණේ සුරංග ලක්‌මාල්ය. ඔහු පන්දු යවන්නෙකි. නමුත් පිතිකරුවන්ට උචිත තණතීරුවකදී පිතිකරුවකු නොසිටීම ශ්‍රී ලංකා තේරීම්වල සිදුවූ විශාල සිදුරකි. 

    ශ්‍රී ලංකා පිලට ඕනෑ තරම් පන්දු යවන්නන් සිටියේය. පෙරේදා ඉන්දීය තරගයේදී සුරංග ලක්‌මාල්ගේ ඕවර 2 ක්‌, තිසර පෙරේරාගේ ඕවර 2 ක්‌, දුෂ්මන්ත චමීරගේ ඕවරයක්‌ සහ නුවන් ප්‍රදීප්ගේ ඕවරයක්‌ වශයෙන් නම් දැරූ පන්දු යවන්නන්ගේ ඕවර හයක්‌ම ඉතිරි විය. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කණ්‌ඩායමේ සිටින දසුන් ශානකට එකම ඕවරයක්‌ හෝ නොලැබුණි. අතිරේක පන්දු යවන්නකු වු ධනුෂ්ක ගුණතිලකටද පන්දු යෑවීමට අවස්‌ථාවක්‌ නොවීය. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ පන්දු යෑවීමේ අංශය කෙසේ වෙතත් ධනංජය ද සිල්වා වැනි පිතිකරුවකු කණ්‌ඩායමට කැඳවා තිබුණේ නම් තිසර පෙරේරා කලින් සඳහන් කළ, ලකුණු 25-35 අඩුව සම්පූර්ණ කර ගැනීමට හැකියාව තිබු බව පැහැදිලිය. නමුත් පුහුණුකරු, නායකයා සහ කළමනාකාරිත්වය අතින් සිදු වූ අත්වැරදීමක්‌ නිසා හෝ පරාජයට පිතිකරුවකු නොසිටීමේ අඩුව මාතෘකාවට බොහෝ තැන්වලදී දැන් බඳුන්වී තිබේ.

    'අපි සැලසුම් කළේ ඉස්‌සෙල්ලා ගහපු තරග දෙක බලලා. ඒ තරග දෙකේදී අංක හය හත පිතිකරුවන්ට බැට්‌ කරන්න වුණේ නැහැ. ඒ නිසා අපි හිතුවා ඉන්න පිතිකරුවන් ප්‍රමාණය ඇති ඒ නිසා පන්දු යවන්නකුට අවස්‌ථාව ලබා දෙනවා කියලා. අනිත් එක අපේ සැලසුම් හරියට කරගන්න බැරිවුණා. වහින නිසා තමයි අපි තව පන්දු යවන්නකුට අවස්‌ථාව දුන්නෙ.' වහින නිසා හෝ පිතිකරුවන්ට තණතීරුවේ සහය වෙනසක්‌ නොවුණි. දැවැන්ත පහරවල් ගැසීමට යැමේදී ඕනෑම පිතිකරුවකු දැවී ගිය හැකිය. කුසල් පෙරේරා මුහුණ දුන් සිව්වැනි පන්දුවේදීම රිවර් ස්‌විප් පහරක්‌ ගසා දැවී ගියේය. පිතිකරුවන්ගේ අතින් එසේ වැරදි සිදුවන විට පිතිකරුවන් හත් අට දෙනකුවත් කණ්‌ඩායමේ සිටීම වාසි සහගතය.

    ප්‍රේමදාස තණතීරුව පිතිකරුවන්ට සුවදායක වාසස්‌ථානයක්‌ බඳුය. එවැනි තණතීරු රටේ ක්‍රිකට්‌ ක්‍රීඩා උඩ දමන්නට අවස්‌ථාවක්‌ වන බවත් එහිදී තම කණ්‌ඩායමේ පන්දු යෑවීමේ උපාය වූයේ කෙටි පන්දු බවත් තිසර පැවසීය.

    'කොට බෝලය තමයි අපේ සැලසුම. නමුත් ඒකත් හරියට කරගන්න බැරි වුණා. නමුත් මේ පරාජයෙන් අපිට ගන්න පුළුවන් හොඳ දේවල් අරගෙන ඉදිරියට යන්න ඕන. මේ කඩුල්ල ගැන හරි සතුටුයි. මොකද පන්දුව කැපිලා එහෙට මෙහෙට යනවට වඩා මේ වගේ තණතීරුවක පිතිකරුවන්ට පහර දෙන්න ලේසියි. ඒ නිසා මම හිතනවා අපේ ක්‍රිකට්‌ උඩට දාන්න මේ වගේ තණතීරු ගොඩක්‌ හොඳයි කියලා.'

    කුසල් මෙන්ඩිස්‌ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්‌විය. නමුත් ඔහුගේ ආබාධය ඊළඟ තරගය අහිමි වීමට සාධකයන් නොවන බව තිසර පෙරේරාගේ විශ්වාසයයි. 'කුසල් මෙන්ඩිස්‌ගේ ආබාධය ගැන පැය 48 ක්‌ තියෙනවා භෞතචිකිත්සක කාර්ය මණ්‌ඩලයට බලන්න. මම හිතනවා ඔහුට ලොකු ආබාධයක්‌ නැති වෙයි කියලා.'

    අසේල විතාන
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අපි සැලසුම් කළේ ඉස්‌සෙල්ලා තරග දෙක බලලා - පිතිකරුවකු නොසිටීමෙන් වැරදුණු කුරුමානම ගැන තිසර පෙරේරා කතා කරයි Rating: 5 Reviewed By: editor
    Scroll to Top