728x90 AdSpace

  • Latest News

    Monday, October 2, 2017

    ලංකාව යළි පිබිදෙවු හේරත්ගේ 'මැජික්‌' පන්දුව

    රංගන හේරත්ගේ "මැජික්‌" පන්දු යෑවීම හමුවේ බේරීමට නොහැකි වූ පාකිස්‌තානුවෝ අබුඩාබි හී පැවැති පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් ලකුණු 21 ක පරාජයක්‌ ඊයේ (02 දා) ලැබුහ. අදාළ ජයත් සමග තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලිය 1-0 ක්‌ ලෙස පෙරමුණ ගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ කණ්‌ඩායමට හැකිවිය.

    ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 138 කට සීමා වීමත් සමග පාකිස්‌තානයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 136 ක පහසු ඉලක්‌කයක්‌ හිමි වුවද හේරත්ගේ විශ්මිත දඟ පන්දු හමුවේ පාකිස්‌තානු පිතිකරුවන් හය දෙනකුම කොටුවෙද්දී ශ්‍රී ලංකාව සොයා සිටි ටෙස්‌ට්‌ ජයග්‍රහණය දෝතට ගැනීමට සමත් විය. නායක චන්දිමාල් විසින් පාකිස්‌තානුවන්ව අමාරුවේ දැමීමට සිය අත්දැකීම් සපිරි පන්දු යවන්නන් යුගල වූ හේරත් සහ ඩිල්රුවන් දෙදෙනාව අන්ත දෙකින් යොදා ගනිමින් පන්දු ඕවර 39.4 ක්‌ ක්‍රියාත්මක කර ගන්නා අතරතුරදී අනෙක්‌ පන්දු යවන්නන්ට යෑවීමට හැකි වූයේ ඕවර අටක්‌ පමණි.

    පස්‌වැනි දිනයේදී තණතීරුව පිතිකරුවන්ට "මර උගුලක්‌" ලෙස හැසිරෙද්දී දෙපිලේම කඩුලු 17 ක්‌ ලකුණු 183 ක්‌ ඇතුළතදී අහිමි විය. පාකිස්‌තානුවන්ට අපරාජිතව වාර්තාවක්‌ සටහන්ව තිබූ අබුඩාබි ක්‍රීඩාංගණයේදී ලද පළමු පරාජයද මෙය විය. මෙම වසරේදී ශ්‍රී ලංකාව සහභාගි වු ටෙස්‌ට්‌ තරග නවයකදී ලද තෙවැනි ජයග්‍රහණයද මෙය වූ අතර මීට පෙර තරග හයක්‌ පරාජයට පත්ව තිබුණි.

    ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ඊයේ දිවා ආහාරය වන විට සීමා වෙද්දී පාකිස්‌තානයට සටනක්‌ දුන් නිරෝෂන් දික්‌වැල්ල පන්දු 76 කදී හතරේ පහර හතරක්‌ සමග නොදැවී ලකුණු 40 ක්‌ ලබා ගත්තේය. ඔහුගේ අනෙක්‌ අන්තයේ පිතිකරුවන් සිව් දෙනෙකුම ලකුණු 14 ක්‌ තුළදී පිටියෙන් ඉවත් විය.

    ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජයග්‍රහණය කොතරම් අවිනිශ්චිතද යන්න තවදුරටත් පැහැදිලි වූ මෙම තරගයේදී පාකිස්‌තාන් පිලේ පළමු කඩුලු පහ ලකුණු 36 කදී බිඳ වැටුණි. අනතුරුව නායක සර්ෆාස්‌ අහමඩ් සහ හැරිස්‌ සොහිල් හය වැනි කඩුල්ලට ලකුණු 42 ක සබඳතාවක්‌ පිහිටුවීමට සමත් වුවද එය බිඳ දැමීමට ඩිල්රුවන් පෙරේරා සමත්වීමත් සමග පාකිස්‌තානුවන්ට ගැලවීමක්‌ නොලැබුණි.

    ඉන්දියානුවන් සමග පැවැති ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරග ඇතුළුව පිට පිටම තරග නවයක්‌ පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමග පරාජයේ ගමන අවසන් කර දැමුවේය. "අපි මේ ජයග්‍රහණ සොය සොයා හිටියේ. මගේ කොල්ලො ටික ඉතාමත් මහන්සි වී මේ ජය වෙනුවෙන් වැඩ කළා. අපේ කළමණාකාරීත්වය, තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් අපිට හොඳ නිදහසක්‌ ලබාදුන්නා තරග කරන්න." යනුවෙන් ජයග්‍රහණයෙන් අනතුරුව චන්දිමාල් පවසා සිටියේය.

    පාකිස්‌තාන් නායක සර්ෆාස්‌ අහමඩ් නම් අදාළ පරාජයෙන් වේදනාවට පත්ව සිටින බව පවසද්දී තරගයේ වීරයා සම්මානය රංගන හේරත්ට හිමිවිය. පාකිස්‌තානු පිතිකරුවන් දෙවැනි ඉනිමේදී කොතරම් පීඩනයකට ලක්‌ව සිටියේද යන්න පැහැදිලි වූයේ ඔවුන්ගේ පළමු හතරේ පහර ගැසීමට ඕවර 26 ක්‌ වැය වී තිබීමෙනි. දෙරට අතර දෙවැනි ටෙස්‌ට්‌ තරගය ලබන 6 වැනිදා දිවා රාත්‍රි තරගයක්‌ ලෙසින් ආරම්භ වේ.


    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලංකාව යළි පිබිදෙවු හේරත්ගේ 'මැජික්‌' පන්දුව Rating: 5 Reviewed By: Anonymous
    Scroll to Top