728x90 AdSpace

  • Latest News

    Saturday, October 21, 2017

    විස්සයි විස්සේ ගැටලුවට සංගා උත්තර දෙයි

    ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසන පරිදි මේ මස 29 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිත තුන්වැනි විස්සයි-20 තරගයට සහභාගිවීමේ තීරණය ක්‍රීඩකයන් විසින්ම ගනු ලැබිය යුතු එකකි. ඒ සඳහා යන ලෙස ක්‍රීඩකයන්ට බල නොකළ යුතු බව සංගක්කාර මහතාගේ අදහසයි.

    ඉන්දියාවේ ‘ස්පෝට්ස්ටාර්’ සඟරාව හා සම්බන්ධවෙමින් සංගක්කාර මහතා එසේ කියා තිබිණ. වසර 2009 මාර්තු 3 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ගමන්ගත් බස්රියට ලාහෝරයේදී ත්‍රස්තවාදීන් වෙඩිතබන විට කුමාර් සංගක්කාරද එම බසයේ සිටියේය.

    දින කිහිපයක් තිස්සේම ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තුන්වැනි විස්සයි-20 තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලාහෝර් නුවරට යැවිය යුතුද නැද්ද යන්නයි. ශ්‍රී ලංකා කණ්ඩායම තම රටට ගෙන්වා ගැනීමට පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් දැඩි උත්සාහයක නිරතව සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සඳුදා (16 වැනිදා) නිවේදනය කළේ මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම ලාහෝර් නුවර බලා යා යුතු බවයි.

    ඒ සඳහා වෙනමම සංචිතයක් නම්කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම සංචිතය පෙරේදා (17 වැනිදා) නම්කරන බව කීවත් එය අද (19 වැනිදා) දක්වාම නම්කර නොතිබිණ. ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායක උපුල් තරංග කල්තබාම ලාහෝර් සංචාරයෙන් ඉවත් වූයේය.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගමන්ගත් බසයට වෙඩි තැබීමෙන් පසුව වසර 8 ක් ඉක්ම ගියද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුළ පවතින භීතිය පහව ගොස් නැත. “බල කරන එක නෙමේ හරි, ලාහෝර් යනවාද නැද්ද කියා තීරණය කළ යුත්තේ ක්‍රීඩකයන්” යයි කුමාර් සංගක්කාර කියන්නේ එබැවිනි.

    “පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය යන මේ සිවු පාර්ශ්වය අතර විවෘත සංවාදයක් පැවැත්විය යුතුව තිබුණා. ඒ සියලු පාර්ශ්වයන් එකතු වුණානම්, ඒ ඒ පාර්ශ්වයන්ටත්, නිලධාරීන්ට වගේම ක්‍රීඩකයන්ගේ පවුල්වල අයටත් දෙනු ලබන තොරතුරු සම්බන්ධයෙන් කිසියම් පාරදෘශ්‍ය බවක් තියෙන්න තිබුණා”

    “එහෙම වුණා නම් ක්‍රීඩකයන්ට තමන් පිළිබඳව තීරණයක් ගත හැකිව තිබුණා” යයි ‘ස්පෝට්ස්ටාර්’ සඟරාවට සංගක්කාර කියා තිබිණ.

    “අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියෝජිතයාට වගේම අනෙකුත් සංවිධාන වල (ශ්‍රී ලංකා ක්‍රිකට්, පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය) නියෝජිතයන්ට කතා කිරීමෙන් පස්සේ ආරක්‍ෂක තත්ත්වය මෙන්ම සැබෑ යථාර්ථය පිළිබඳ වැටහීමක් ක්‍රීඩකයන්ට ලබාගත හැකිව තිබුණා” යයිද සංගක්කාර පැවසීය. සංගක්කාර මේ වනවිටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත දහයයි-10 ක්‍රිකට් ලීගයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් මෙන්ම ‘මාරතා ඇරේබියන්ස්’ කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙසින් කටයුතු කරයි.

    “පාකිස්තානයට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන ඒම ඇත්ත වශයෙන්ම ඉතාමත් හොඳ දෙයක්. ලෝක කණ්ඩායම මෙතැන ක්‍රීඩා කළ එකත් අති විශිෂ්ටයි…තමන්ගේ රටේදීම ක්‍රිකට් ක්‍රීඩාව නරඹන්න බැරිව පාකිස්තානයේ ක්‍රිකට් ලෝලීන් අසරණ වෙලා හිටියා විතරක් නෙමේ ක්‍රීඩකයන් පවා තමන්ගේම ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ ක්‍රීඩා කරන්න බැරිවයි හිටියේ”

    “ඒත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ලැබිය යුතුව තිබුණා” යයිද සංගක්කාර පැවසීය.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: විස්සයි විස්සේ ගැටලුවට සංගා උත්තර දෙයි Rating: 5 Reviewed By: Anonymous
    Scroll to Top